Kalawana to Deniyaya Rover Scout Rambler Hike

Kalawana to Deniyaya
Rover Scout Rambler Hike



2018/07/27 ප්‍රථම දින කලවාන පොලිස් ස්ථානයෙන් 10.00am ගමන් ආරම්භ කර අප 2km පමණ ගෙවා කලවාන මංසන්ධියට පැමිණ දකුණට රක්වාන පාරට හැරී සාමාන්‍ය කඳු මතින් වැටී ඇති පාර ඔස්සේ 12km පමණ ඉදිරියට ගොස් වැද්දාගල මංසන්ධියෙන් දකුණට හැරී උස් කඳු මතින් වැටී ඇති කුඩව පාර ඔස්සේ 8km පමණ දුරක් ගෙවා උස් කඳු වැටි 3ක් පසුකරමින් ඉදිරියට ගොස් සිංහරාජ කුඩව පිවිසුම ආසන්නයට පැමිණියේය. ඒ වන විට වේලාව සවස 4.15pm විය. ගම්වාසීන්ගෙන් පිටකැලේ හරහා ආරණ්‍ය සේනාසනයට යන මඟ පිළිබඳව අසා දැනගත් අතර දැනගන්නට ලැබුණු ආකාරයට අප යාමට සිටින මාර්ගය අවුරුදු 15න් 20න් කිසිවකු භාවිතා කර නොමැත.  සිංහරාජ අඩවි කාර්යාලයෙන් ද තොරතුරු ලබාගත් අපට ඔවුන්ද පැවසුවේ කිසිවකු එම වනාන්තර ප්‍රදේශය තරණය නොකරන බවත් එය ඉතා දුෂ්කර බවත් ය. ඔවුන්ගේ තීරණය වූයේ හැකිනම් නොයා සිටින ලෙසයි, එහෙත් අප එම අභියෝගය ඉතා සතුටින් භාර ගන්නා බවත් ඔවුන්ට දැනුවත් කරමින් අප එතනින් නික්මුණි. ඉන්පසුව කුඩා ගඟ හරස් ව වැටී ඇති පාලම පසුවෙන මංසන්ධියෙන් දකුණට හැරී එම මඟ ඔස්සේ 200m පමණ ඉදිරියට ගොස් වමට ඇති කුඩා පාරකින් ජේසන් බංගලාව දෙසට හැරී පිටකලේ තෙක් 4km පමණ ඉදිරියට ගියේය. එහි පැමිණෙන විට වේලාව 6.45pm විය. ගමන් විඩාව නිවන තෙක් හින්දයි සිංහරාජ වනාන්තරයෙහි මායිමට වන්නට කඳවුරු භූමිය සකස් කර  ගත්තේ 8.00pm පමණ වන විටය, පසුව ආහාරපාන පිළියෙල කර රාත්‍රී ආහාරය ගන්නා විට 9.00pm පමණ විය. පසුදින 5.00am වනවිට අවදි වීමේ බලාපොරොත්තුවෙන් 10.30pm අප නින්දට ගියෙමු.

2018/07/28 උදෑසන 5.00am අවදි වූ අප පා ගමනේ අභියෝගාත්මක හා තීරණාත්මකම දිනයට සූදානම්  වූවෙමු. උදෑසන ආහාර ගෙන කඳවුරු භූමියක් අකුලා අත්පත්කර ගෙන යන ගමන් මලුවල වතුර හා වියළි ආහාර උඩින් සිටින සේ සකස්කර කූඩැල්ලන් සදහා ලුණු මිශ්‍ර ද්‍රාවණයක් සකසාගෙන ආයුධයක් ලෙස පිහියක්ද මාලිමාව හා සිතියම් ද ගෙන වනාන්තරයට 7.00am  ඇතුළු වුණෙමු. එක් රැස් කර ගත් තොරතුරු වලට හා සිතියමට අනුව යායුතු ගමන් මාර්ගය වන්නේ කුඩා ගඟ දිගේ ඉහලටය, ගඟේ 90° කෝණයක් සිටින සේ ගඟ හැරෙන ස්ථානයන් දෙකක් ඇත, ඉන් දෙවැනි ස්ථානයෙන් 220° ක කෝණයකින් කඳු දෙකක් තරණය කිරීමෙන් පසුව ආරණ්‍ය හමුවේ. ගම්වාසීන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව ඔවුන් පැවසුවේ යන ගමන් මාර්ගයේ ප්‍රථම 90° ස්ථානය මහ වැල්ල යනුවෙන් හඳුන්වන බවත් දෙවැනි 90° තිබෙන ස්ථානය ගල්වල වශයෙන් හඳුන්වන බවත් ය. ඉන් පසු එතැනින් හැරී ප්‍රථම කන්ද තරණයේ දී කඳු මුදුනේදී මනමාල ගල නමින් ස්ථානයක් ද ඇති බවයි එය හමුවේ නම් අප යන මාර්ගය නිවැරදි බව වුන් ප්‍රකාශ කර තිබුණි. එම සියලු කරුණු සිතෙහි තබාගෙන සිංහරාජ වනාන්තරය තුළට ඇතුළු වූ අප ගඟෙහි ඉහළට ගියහ. අප ආ ගමන් මග නිවැරදි යැයි සනාථ කරමින් ගඟෙහි ප්‍රථම 90° නැම්ම හෙවත් මහා වැල්ල කියන ස්ථානයට 8.45am වනවිට ලඟාවිය.

එම ස්ථානයේ ටිකක් වෙලා ගිමන් හැර නැවත ගමන ආරම්භ කළේය, ගඟ දිගේ  උඩු ගන් බලා යන ගමනෙහි අපට හමුවූ බාධක රාශියක් වේ. එක් අවස්ථාවකදී මා හට තිත් පොළඟෙකු ප්‍රහාරයක් එල්ල කරත් පෙර තිබූ වාසනාවකට මෙන්  ඉන් මිදීමට මට හැකි විය. දෙවනුව කවිදු මානවකයාගේ ඇඟට කොටයක් පෙරලුන ද ඔහුත් පෙර කර තිබූ පිනකට මෙන් එයින් බේරුණි. එසේ බාධක හමුවේ ඉදිරියට ගිය අප දෙවන ස්ථානය වන ගල්වල කියන ස්ථානයට 11.30am වනවිට පැමිණුනි. එම ස්ථානය ඉතා අලංකාර ස්ථානයක් විය මන්ද එම ස්ථානයේ දියඇල්ලක් ද ඇත. මේ වන විට අපට හොදින් වැටහී තිබුණු කාරණයක් වන්නේ ගම්වාසීන් සහ වනාන්තර  භාර කාර්යාල සේවකයින් අපට පැවසූ දේ නිවරදි බවය, මන්ද මෙය ඉතා දුෂ්කර කාර්යයක් විය. කිසිදු මනුෂ්‍ය වාසයක් තිබූ බවක් කොහෙන්වත් දැනගන්නට නොවීය. අප යායුතු ගමන් මග හරි අඩක දුරක් ගෙවා නිම කළ තැන මෙම ගල්වල කියන දෙවන 90° කෝණයකට ගඟ නැමෙන ස්ථානය හමුවන බව අප දැනගෙන සිටියෙමු.

ගමනෙන් හරි අඩක් ගෙවා නිම කිරීම සතුටට කාරණාවක් වුවද එතනින් එහාට ඇති ගමන් මාර්ගය අති දුෂ්කර ගමන් මාර්ගයක් බව අප පෙර සිටම දැන ගෙන සිටියෙමු. මන්ද මීළඟට අපට තරණය කිරීමට තිබෙන්නේ සිංහරාජ වනාන්තරයේ ඇති උසම කඳු පන්තියයි. කඳු පන්තියෙහි උස මීටර 700ක් පමණ වේ.  සිතියමට අනුව එතනින් එහාට යා යුතු මග 4km පමණ වුවත් කඳෙහි දළ බෑවුම් ඇති නිසා හරස් අතට ගමන් කිරීමට සිදු වේ. එවිට එම කඳු පන්තිය තරණය කිරීමට අවම වශයෙන් 10km දුරක් වත් යා යුතු බව අපගේ අනුමානය විය. ගල්වල නැවතුම් ස්ථානයේ නතර වී ඉදිරි ගමන පිළිබඳව හොඳ සැලසුමක් සකසා අවශ්‍ය පානීය ජලය එතනින් පුරවාගෙන ගමන ආරම්භ කළහ. මේ වන විට අප සිව්දෙනාට කූඩලු ප්‍රහාර සමාන්‍ය තත්ත්වයක් බවට හැරී තිබුණි මන්දයත් එක් අයකු කූඩලු ප්‍රහාර විස්සකට තිහකට අධික ප්‍රමාණයකට ඒ වන විට මුහුණ දී තිබුණි. ගං ඉවුරේ සිට 220° කෝණයක් ගෙන  ඒ මඟ ඔස්සේ නැවතත් කැලයට පිවිස කැළය පීරමින් ඉදිරියට ගියේය. සිතියමේ තිබෙන දළ බෑවුම් වලට වඩා දළ බෑවුම් ඇති බව වනාන්තරයට පිවිසුණු අපිට මේ වන විට තේරුම් ගොස් තිබුණි. මන්දයත් වනාන්තරයේ ස්වභාවය නිරන්තරයෙන් වෙනස් වෙයි. ගස් කොළන් කඩා වැටීම් නායයෑම් ආදියට නිරන්තරයෙන් පත්වන වනාන්තරයේ ස්වභාවය වෙනස් වන නිසාම තරණය කිරීමට තිබූ දළ බෑවුම් වලට වඩා දළ බෑවුම් ප්‍රමාණයක් තිබෙන බව ඉදිරියට යනවිට අපට දැනුනි. එක් එක් අවස්ථාවල් වල අප තරණය කර දළ බෑවුම් වල උස අඩි 150ක් 200ක් පමණ වේ. අඩි පාරක් වත් තුනකි වන ලැහැබේ ගල් මතින් ගස් මතින් යන මේ  ගමන ඉතා දුෂ්කර කටුක අත්දැකීමක් විය. එහෙත් වනාන්තරයේ ඇති සුන්දරත්වය අපගේ විඩාව නිවන්න ට සමත් විය. කෙමින් කෙමින් ඉදිරියට ඇදුනු අපට කඳු පන්තියේ මැද පමණ තරණය කරන විට අප සතුව තිබූ සියලු වතුර ඉවර වී තිබුණි, කරගන්නට කිසිවක් නැති තැන වේවැල් කපා එහි ඇති යුෂ උරාබොමින් ඉදිරියට ඇදුණි. එහෙත් අවාසනාවකට මෙන් කන්ද මුදුන සෑදී ඇත්තේ ගිරි කුළු වලිනි එනිසාම එහි වේවැල් ශාකය ව්‍යාප්තවීමට පරිසරයක් නොවීය.

අප සිව්දෙනාට පානීය ජලය නොමැතිව ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව ඉතා වෙහෙසකාරී ගමනක යෙදෙමින් සෙමින් සෙමින් ඉදිරියට ඇදුනේ ජල පිපාසයට දිය බිඳක් කොයිම වෙලාවක හෝ ලැබේවියැයි සිතමින්, සිංහරාජ වනාන්තරය ඇති උසම කන්ද මුදුනට පැමිණෙන විට අපිට දක්නට ලැබුණේ ප්‍රදේශවාසීන් විසින් කියූ මනමාල ගල කියන ස්ථානයයි. ප්‍රදේශවාසීන් කියූ ආකාරයට එම ස්ථානය ස්ථිරවම කිව හැකි ලක්ෂණ කිහිපයක් වන්නේ ගලෙහි එක පැත්තක ලෙන් ආකාර කොටසක් ඇති බවත් එම ලෙන් කොටසෙහි ඇඳවල් මෙන් පැතැලි ගල් ඇති බවත් ය. අපට හමුවූ ගලෙහි පිටුපසට යන විටදී ප්‍රදේශවාසීන් කියූ ලක්ෂණ අපට හමුවිය.  යන ගමන්මාර්ගය හරි බව අපට හැඟුණි. ගං ඉවුරෙන් ගත් ආනතිය කිසිසේත් වෙනස් නොකර එක එල්ලේ මේ යන ගමනේ, දළ බැවුම් මෙන්ම ගිරිකුළු, වැටුණු ගස්, එකී නොකී බාධක අපේ මග හරස් නෙකෙරුවාම නොවෙයි. එහෙත් ඒ හැම බාධකයක්ම කෙසේ හෝ ජය ගනිමින් අපි ඉදිරියට ඇදුනේ හිතේ විශාල අධිෂ්ඨානයක් ශක්තියක් පෙරදැරි කරගෙනයි. මේ වන විට පානීය ජලය නොමැතිව විශාල ගමන් මළු රැගෙන කිලෝමීටර හතරක් පමණ කැළය පීරමින් අප ඉදිරියට පැමිණ සිටියි එහෙත් තවමත් අපට බොන්නට ජල බිඳක් හමුනොවීය.

මනමාල ගල පසුකරමින් තරණය කර කඳු පන්තිය බැසීමට අපි ගමන් ආරම්භ කළෙමු. බොන්නට දිය බිඳක් නැතිව තවත් කිලෝමීටර දෙකක් පමණ කන්ද බහින විට අහම්බෙන් මෙන් කළුගලකින් වෑස්සෙන දිය දහරාවක් අපට හමු විය. ඉවසාගත නොහැකි පිපාසයෙන් සිටි අපට එය දුටු විට නැගුණු  ප්‍රීතිය ඉතා මහත් ය. සියල්ලෝම එතැන නතර වී එම දිය දහරාවට කොළයක් තබා වතුර එක්රැස් කර බෝතල් වලට පුරවා ගෙන පිපාසය සංසිඳවා ගත්තේ දේව ආශිර්වාදයක්මැයි සිතමිනි. එම ස්ථානයේ ගිමන් හැරී අප නැවත ගමන ආරම්භ කළෙමු. ඒ වන විට වේලාව 4.00pm පමණ වී තිබුණි. ඉර අවරට යාමට තව හෝරා කිහිපයක් ඇති නමුත් වනාන්තරය ඉක්මනින් අන්ධකාරය වසාගනී. අපගේ ගමන ඉක්මන් කර  අප නැගි කන්ද ඉක්මනින් බැස්සත් අපට ආරණ්ය හමුනොවීය. හිතට භීතියක් සහ කුතුහලයක් දැනෙමින් සිටින මොහොතේ කැලයේ ඈත කෙරවලක සිට ගස්වැල් සොලවමින් මොකෙක් හෝ සතෙක් අප දිශාවට පැමිණෙන බව දුටු අප කුමන හෝ සතෙක් වුවද සූදානම් විය යුතුයි යන චේතනාවෙන් අතෙහි තිබූ ආයුධ හා යෂ්ටි අමෝරා ඒ දෙස බලා සිටියෙමු. පැමිණි සතුන් මොකෙක් වෙතත් අප දුටු සැනින් උන්ගේ මාර්ගය වෙනස් කර වෙන දිශාවකට ආ වේගයෙන්ම දුවන්නට විය.  සිතට දැණුනේ සහනයකි, අතරමං වී සිටින අවස්ථාවකදී මෙවැනි අවස්ථාවකට මුහුණ දීමෙන් මරණ බිය සිතට දැනුණි, කිමද අප සිව්දෙනාම බලාපොරොත්තු වූයේ දිවියෙකුගේ ප්‍රහාරයකි.

සිතියමට අනුව ආ මග වැරදුනේ කෙසේදැයි කල්පනා කරන විට අපට සිහියට නැගුනේ ගිරිකුල් හා දළ බෑවුම් පසුකරන විට අප ගත්  220° කෝණයෙන් මඳ වශයෙනි පිට ගොස් නැවත 220° ගමන් මාර්ගය තෝරාගෙන ඉදිරියට ඇදුනු බවයි. එහිදී ආනතිය යම් වෙනස් වීමක් සිදුවන නිසා ආ මඟ වැරදී ඇති බව අපට වැටහුණි. ඉන්පසුව පෙනෙන දුරින් ඇති කඳු පන්තියේ රටාවට සමාන රටාවක් සිතියමේ සොයාගෙන අපි ඉන්න ස්තානය දළ වශයෙන් හඳුනාගත්තෙමු. ඉන්පසුව සිටියම දිශාගත කර යායුතු දිශාව නිර්ණය කරගෙන එම දිශාවට ගමන් කිරීමට ආරම්භ කළේ ආරණ්‍ය සේනාසනය හමුවේයැයි සිතෙහි රඳවාගෙනය. කඳු පන්ති අතර  වනාන්තරයෙ තවදුරටත් එසේ ඇවිදන් යන විට වේලාව 5.00pm පසුවිය. විදුලිපංකා එළියෙන් ඉදිරියට ඇදෙන අපට ආරණ්‍ය සේනාසනය කැටය ගසන හඬ ඇසුණි. ඉන්පසුව එම දිශාවට අප ගමන් මාර්ගය වෙනස් කර ඉදිරියට යන විට ආරණ්‍ය සේනාසනයේ කෙළවරෙහි ඇති භාවනා කුටියක දැල්වෙන විදුලි බල්බයක් දුටුවේ අහම්බෙනි, එය දුටු අප සතුටින් ඉපිල වහ වහා එම ස්ථානයට ගියෙමු. අප ආරණ්‍ය සේනාසනයට ඇතුළුවන විට වේලාව 6.00pm පමණ වී තිබුණි. ඉන්පසුව ආරණ්‍යසේනාසනය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමුවී කතාබහ කරන ලදී.  උන්වහන්සේ අපට විශ්‍රාම ශාලාවේ නතරවන ලෙසත් කඳවුරු නොගසන ලෙසත් උපදෙස් දුන්හ. ඒ නිසා උන්වහන්සේ කියූ අයුරින් අප විශ්‍රාමශාලාවේ එදින ලැගුම් ගත්තෙමු.


2018/07/29 දින උදෑසන 6.00 ට අවදි වී විශ්‍රාම ශාලාව අත්පත්කර  අපගේ ගමන් මළු ලෑස්තිකර උදෑසන 7.30 ට පමණ ආරණ්‍ය සේනාසනයෙන් පිටත් විය. පෙර දිනක තරණය කර කඳු පන්තියේ ඉතිරි කොටස  එදින බැසීමට තිබුණි. එදින අපගේ ගමනාන්තය වූයේ  ලංකාගමයි. එදින ගමන් මාර්ගයත් පෙරදින ගමන්මාර්ගය මෙන් ඉතා දුෂ්කර ගමන් මාර්ගයක් විය. ගිං ගඟට මායිම්ව දිවෙන මෙම මාර්ගය තේ වතු මැදින් සුන්දර පරිසරයක් පසුකරමින් යෑමට තිබෙන  මාර්ගයකි නමුත් ඉතා දුෂ්කරම කාර්යය වන්නේ පෙරදින මෙන් ඉතා විශාල කඳු තරණය කිරීමට වීමයි. මේ වන විටත් අප කඳු පහක් තරණය කර තිබුණි. එදින අපට කඳු වළල්ලක් තරණය කිරීමට තිබුණි, එම කඳු වළල්ලේ ඉහලම ස්ථානයට පැමිණීමට අපට පැය 9ක පමණ කාලයක් ගත විය. අපි එම කඳු පන්තියේ මුදුනට පැමිණෙන විට වේලාව 4.30pm පමණ විය. එක් පසකින් වනාන්තරය අනිත් පසකින් තේ වතු කිසිදු ගෙයක් කඩයක් නොමැති පාරවල් තුලින් ඉදිරියට ඇදෙන අප එදින ගමනාන්තය වන ලංකාගම පිවිසුමට පැමිනෙන විට 6.00pm පමණ විය. ලංකාගම පිවිසුමේ ටිකට් කවුන්ටරය වසා එම නිලධාරීන් පිටත් වීමට සැරසෙනවාත් සමගම අපට එතනට යාමට හැකිවූ අතර එතනින් අප පැමිණි බවට ලියුමක් ද රැගෙන එතනින් පිටත් විය. අප නැවතීමට තීරණය කරගත් ස්ථානයට ලංකාගම පිවිසුමේ සිට තවත් 6km පමණ යාමට තිබුණි. එතැන් සිට අපට යාමට සිදුවූයේ මිනිසුන් පරිහරණය නොකරන තේ ටැක්ටර් පමණක් ගමන් කරන මාර්ගයක් ඔස්සේය.  ගම්මානයක් නොමැති තේ වතු මැදින් වැටී තිබූ එම මාර්ගයේ ටික දුරක් යන විට අන්ධකාරය අවට පරිසරය වෙලා ගත්තේ අපට මඟ හරස් කරන්නාක් මෙනි. විදුලිපංකා එළියෙන් නොනැවතී ඉදිරියට ගිය අප නැවතීමට තෝරාගත් තේ වත්ත වෙත ළඟාවනවිට 09.15pm පමණ විය.

2018/07/30 දින අපගේ පාගමන අවසාන දිනයයි, 6.00am අවදි වූ අප ද දිනයට අවශ්‍ය බඩු පමණක් තබාගෙන ඉතුරු සියල්ල ඉවත් කරගෙන කඳවුරු අකුලා භූමිය අත්පත්කර 7.30am ලංකාගමින් පිටත් විය. ප්‍රථම දිනයේ නගරයකින් ගමන් ආරම්භ කර  අපට නැවත නගරයක් හෝ කඩමණ්ඩියක් හමුවන්නේ අදයි. තේ වතු මැද්දෙන් වැටී ඇති පාරවල් ඔස්සේ දෙනියාය කරා අප ගමන් කළෙමු. දින කිහිපයකට පසුව පා ගමන පුරාවට අපට හමුවූ ප්‍රථම කඩමණ්ඩිය මෙදේරිපිටිය හන්දියයි. දෙනියාය කරා යන ගමනේ දී මීළඟට හමුවූයේ පල්ලේගම හන්දියයි. එතනින් වමට හැරී දියදූව හරහා දෙනියාය දෙසට යන අතරමඟදී ලුම්බිණි තේ කර්මාන්ත ශාලාව අසලට පැමිණයේ ය. ඒ වන විට වේලාව 2.00pm  පමණ විය. අප සිව් දෙනාගේ අදහස වූයේ මෙම කර්මාන්ත ශාලාව නැරඹීමට ඇත්නම් යන්නයි. අප එම කර්මාන්ත ශාලාව තුළට පිවිස පාලන අධිකාරිය හමුවී කර්මාන්ත ශාලාව අපට පෙන්වා අවබෝධයක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලීමක් කළෙමු. ඒ සඳහා සවන්දුන් පාලන අධිකාරිය අපට අවසර දුන්හ. ඒ අනුව කර්මාන්තශාලාවේ අධීක්ෂක වරියක් සමග කර්මාන්ත ශාලාවට පිවිස දැකබලා ගැනීමටත් ඒ පිළිබඳව ඉගෙන ගැනීමටත් අවස්ථාව සලසා දුණි.  ශ්‍රී ලංකාවේ තේ පිලිබදව හොඳ අවබෝධයක් ලබාගත් අප එතනින් නික්ම දෙනියාය කරා ගමන් ආරම්භ කළේය. 5.30pm වන විට අප දෙනියාය පොලිස් ස්ථානයට පැමිණ අපගේ ගවේෂක පාගමන සාර්ථකව නිම කළෙමු.










Comments

Popular posts from this blog

WORLD ORGANIZATION OF THE SCOUT MOVEMENT (WOSM)

Sri Lanka Scout Association (SLSA)